පුරුෂාත්ම හීනනය (Male Inferiority) හේතුවෙන් ආගමික වශයෙන් මව් දෙවඟන වන්දනය වෙනුවට පුරුෂ ලිංග වන්දනය, පුරුෂ දෙවියන් වන්දනය වැනි අභිචාර ආරම්භ වූ අතර, පුරුශ ලිංගය බලයේ සංකේතයක් වන්නට පටන් ගත්තේය. කෙටියෙන්ම කිවහොත් පුරුෂාධිපත්‍යය විසින් මීට අවුරුදු 4000 දහසකට පමණ පෙර, සියළු දේ මැවූ යාහ්වේ නම් සර්වබලධාරි දෙවියන් වහන්සේව නිර්මාණය කළේය. එය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට ඔවුන් විවිධ ලේඛනයන්ද රචනා කළේය. කොටින්ම බයිබලය තුළ දෙවියන් වහන්සේ තම සත්තාව පවත්වාගැනීමට අෂේරා දෙවඟනගේ දේවස්ථාන පවා විනාශ කිරීමට අනුබල ලබා දී ඇති බව සඳහන් වේ. පසුව දිව්‍යත්වය යන මාතෘකාව ස්ත්‍රියට සම්පූර්ණයෙන්ම පාහේ අහිමි විය. නමුත් සත්‍ය වශයෙන්ම ඉන් පෙර ලොව පුරා විවිධාකාරයෙන් පැවතියේ මාතෘ දෙවඟන වන්දනය යි. දෙවියන් සැලකුවේ මව හෙවත් ප්‍රජනනයේ සංකේතය ලෙසයි.
ඇය මිනිසුන්ගේ පමණක් නොව දේවතාවන්ගේද නමස්කාරය ලක් වේ. අප දකින සෑම දෙයකම ඇය සිටී. ඇය ශාක, සතුන්, කුරුල්ලන්, මුහුද, අහස සහ ශුද්ධ ගංගාවන්ද නියෝජනය කරයි. ඇය මේ ලෝකය මෙහෙයවන ශක්ති (බලය) ය. ඇය මනුෂ්‍ය වර්ගයාගේ මවයි. විමුක්ති ප්‍රධානාය කරන්නිය සහ පරම සත්‍යය පිළිබඳ දැනුම මෙන්ම වේදයේ මව, බුද්ධිය සහ අවිද්‍යාව සහ මිනිස් සංහතිය විනාශ කරන්නිය ද ඇයයි.
නිර්මාණය ආකාරය පවත්වා ගැනීමට සර්වබලධාරි දෙවඟන අනේක ස්වරූපයන්ගෙන් ප්‍රකට වී එය ආරක්ෂා කිරිමට ඉදිරිපත් වේ. ඇය විශ්වයේ මාතාව ලෙස මාතෘ ස්වරූපයෙන් ද, විශ්වයේ සංරක්ෂිකාව ලෙස රණශූරි ස්වරූපයන්ගෙන්ද පෙනී සිටි. ඇයගේ නිර්මාණය විරුද්ධ වීමට හෝ ඇයගේ උපදෙස් ලබා දීමට කිසිවෙකුත් නොමැත. නිර්මාණයට පෙර සිටි එකම සර්වබලධාරි දෙවඟන ඇය හෙයින් අනුත්තමා ලෙසද, ආරම්භයක් හෝ අවසානයක් නොමැති සර්වබලධරි එකම දෙවඟන වන හෙයින් අනාදි නිධනා ලෙසද හැඳින්වේ.